Friday, 1 April 2011

02. විද්‍යා විෂයයන් අමාරුද?



සාමාන්‍යය පෙළ විභාගයෙන් සමත් වන පිරිස අතරින් උසස් පෙළට විද්‍යා විෂයයන් තෝරා ගන්නේ ඉතා සීමිත පිරිසකි. එයට හේතුව එම ක්ෂේත්‍රයට අදාල විෂයයන් අමාරු යැයි සම්මත වී තිබීමයි.
සත්‍ය වශයෙන්ම එම විෂයයන් අමාරුද? මාගේ පිළිතුර වනුයේ නැත යන්නයි. විද්‍යා විෂයයන් අමාරු නැත. අප අමාරු කරගෙන ඇත.

උසස් පෙළට විද්‍යා විෂයයන් හැදෑරීමට පැමිණ හරි හැටි අධ්‍යාපන කටයුතු නොකරන සමහරක් අඟවන්නේ අසාර්ථකත්වයට හේතුව තමන්ගේ දුර්වලකමක් නොවන බවත්, ඊට හේතුව විද්‍යා විෂයයන්ගේ තේරුම් ගැනීමේ අපහසුව බවත්ය. ඔවුන්ගේ මේ හේතු නිසා විද්‍යා විෂයයන් හැදෑරීමට පැමිණෙන නවකයාගේ සිතේ පවතින එකම ආකල්පය වන්නේ "විද්‍යා විෂයයන් අමාරුයි" යන්නයි. පවුලේ වැඩිමහල් සාමාජිකයෙකු විද්‍යා විෂයයන් හදාරා අසාර්ථක වූ පසු අනෙක් සාමාජිකයන් බොහෝ විට විද්‍යා විෂයයන් අතහැර වෙනත් ක්ෂේත්‍රයන්ට යොමු වන බව සමාජ දත්තයන්ගෙන් පෙනී යයි. එමෙන්ම සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු කර විද්‍යා අංශයෙන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වූ වැඩිමහල් සාමාජිකයන් සිටින පවුලක අනෙක් සාමාජිකයන්ද විද්‍යා අංශයට යොමුවන බව පැහැදිලිය. මෙය විද්‍යා අංශයට පමණක් නොව කලා වාණිජ අංශයටද පොදු බව කිව යුතුය.

මෙයින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ හුදෙක් බොහෝ දෙනා විද්‍යා විෂයයන් අත්හැරීම හෝ තෝරාගැනීම සිදු කරන්නේ විෂයයන් හි අමාරු හෝ ලේසි බව නිසා නොව එම විෂයය හැදෑරූ ඔහුගේ සමීපතමයන් ගේ සාර්ථක අසාර්ථක භාවය මත බවයි.

එහෙත් මෙම නිගමනයට එකඟ නොවන අයද අප අතර ඕනෑ තරම් සිටිති. පවුලේ වැඩිමහල් සහෝදරයකු විද්‍යා අංශයෙන් අසාර්ථක වන විටදි ඔහුගේ බාල සොයුරන් විද්‍යා අංශයයෙන්ම උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමද දක්නට ලැබේ.

වැඩිමහල් සොයුරා විද්‍යා අංශයෙන් අසාර්ථක වන විටදී පවා බාල සොයුරා විද්‍යා අංශයට යොමු වී එයින් සාර්ථක වූයේ ඔහුගේ සිතට අය්යාගේ අසාර්ථකත්වය බලනොපෑ නිසාත්, ඔහු විද්‍යා අංශයට තැබූ අධික කැමැත්ත බවත් සඳහන් කල යුතුය. තවද පරාජයන් ඛෙහෝමයකට හේතු වන්නේ නිපුණත්වය නොහොත් දක‍ෂතාවය නැතිකම නොව උද්යෝගයේ හීනතාවයයි.

එහෙයින් තමන්ගේ සිතට වෙනත් අයගේ කි්‍රයා නිසා ඇතුලූ වී ඇති විද්‍යා විෂයයන් අමාරුයි යන වැරදි ආකල්පය වෙනස් කල යුතුය. කොයි විෂයයත් හරිහැටි ඉගෙන නොගතහොත් අමාරු වෙයි. එහෙයින් මම තෝරා ගන්නා විෂයයන් හරිහැටි අධ්‍යනය කොට ජය ගනිමි යන ධනාත්මක චින්තනයෙන් උසස් පෙළට පිවිසෙන සියලූ දෙනාගේ එකම චින්තනය විය යුතුය.

ලෝකයේ ප්‍රකට බොක්සිං ශුරයෙකු වන කැසියස් ක්ලේ "මමයි රජා" යන වාක්‍ය පාසල් යන පුංචි කාලයේ පාඩම් පොත්වල ලියා ඇත. ඔහුට පසුකලෙක ලෝක ශුරයෙකු වීමට ඉහත ධනාත්මක ච්න්තනය බලපා ඇති බව සිතිය හැකිය. එමෙන්ම අලූත් පිවිසුමේ සඳහන් වන පරිදි දොළොස් අවුරුද්දක් රෝගයකින් පෙළුණු මහළු කාන්තාවක් ක්‍රිස්තුස් වහන්සේ වෙත විත් සළුවේ අත ගසා "උන් වහන්සේගේ සළුවට පමණක් අත ගැසුවහොත් මට සුව වන්නේයි සිතින් සිතා ගත්තාය" ඒ සමගම ඇය සුවපත් වූ බව එහි සඳහන්ය. ඇගේ රෝගය සුව වීමට ලබාදුන් ප්‍රතිකාරය වූයේ ’ධනාත්මක චින්තනයයි"

කැසියස් ට බොක්සිං ශුරයෙකු වීමට "මමයි රජා" යන ධනාත්මක චින්තනය උපකාරි වූවා සේම මහලූ රෝගි කාන්තාවට රෝගයෙන් මිදීමට ධනාත්මක චින්තනය උපකාරි වූවා සේම ඔබටද "සරසවියට පිය නගමි" යන ධනාත්මක චින්තනය, තිර අධිෂ්ඨානය සාර්ථක උසස්පෙළ අධ්‍යාපනයකට පිටුවහලක් කර ගත හැකිය. නිතර ඔබේ නෙත ගැටෙන තැනක ඉහත වැකියක් ප්‍රදර්ශනය වේ නම් එය ඔබේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටද හේතු වනු ඇත. "උද්යෝගයෙන් තොරව ශ්‍රේෂ්ඨ කිසිවක් මුදුන් පැමිණුනේ නැත." එහෙයින් උද්යෝගයෙන් විශ්වාසයෙන් වැඩ අරඹන්න. වැඩ කරන්න, මන්ද යත් ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම් කල නොහැකි දෙයක් නැති නිසාවෙනි.



ඔබට විශ්වාසය ඇත්නම් කිසිවක් ඔබට අපහසු නැත.
- බයිබලය

No comments:

Post a Comment