Friday 30 March 2012

05. ගුරුවරයා - ඔබ


පාසලේදී ගුරුවරුන් හා මනා සම්බන්ධතාවයක් පවත්වාගත යුතුය. ගුරුවරුන් හා ගැටුමට නොගොස් ගුරුවරුන් ගේ සිත දිනාගෙන කටයුතු කළ යුතුය. සැමවිටම ඔබ ශිෂ්‍යයා බවත්, ඔහු ගුරුවරයා බවත් සිතේ තබාගෙන කටයුතු කරන්න. බෞද්ධ ආගමේ එන සිඟාලෝවාද සුත්‍රයහී අනුව ශිෂ්‍යයා විසින් ගුරුවරයාට කරුණු 5 කින් සංග්‍රහ කළයුතු බව කියැවෙයි. එනම්,

1. ගුරුවරයා දුටු විට හුනස්නෙන් නැගිටීම.
2. ගුරුවරයාට උපස්ථාන කිරීම.
3. ගුරු බසට මැනවින් ඇහුම්කන් දීම
4. ගුරුවරයාට අවශ්‍ය කටයුතු ඉටුකරදීම.
5. මැනවින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම


ඉහත කරුණු කාරණා වලින් සංග්‍රහ ලබන ගුරුවරයා ගේ සිතේ ශිෂ්‍යයා පිළිබඳව සුභවාදි ආකල්පයන් පවතියි. අනතුරුව ගුරුවරයාද ශිෂයාට පහත කාරණා වලින් සංග්‍රහ කරයි.


1. මැනවින් හික්මවීම (ශිෂ්‍යාගේ ගති පැවතුම් ඔහුටත්, සමාජයටත් හිතවත් වන සැටියෙන් සකස් වන්නේ ගුරුවරුන් අතිනි)
2. මැනවින් ඉගැන්වීම (ගුරුවරු තමන් වෙහෙස මහන්සි වී උගත් ශිල්ප ශාස්ත්‍ර ක්‍රමවත් ලෙස ශිෂ්‍යයාට ඉගැන්වීම)
3. සියලූම ශිල්ප ශාස්ත්‍ර කියාදීම. (ගුරුවරයා තමන් දත් ශිල්ප ශාස්ත්‍ර ගුරු මුෂ්ටි වශයෙන් සඟවා තබානොගෙන සියල්ලම ශිෂ්‍යයාට ඉගැන්වීම)
4. මිත්‍ර වර්ගයාට හඳුන්වාදීම (ගුරුවරු ස්වකීය ශිෂ්‍යයා හිතමිතුරන් ට හඳුන්වා දී මනා සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට උදව් වෙති)

5. උවදුරු වලින් රැකගැනීම (නරක ආශ්‍රය ආදියෙන් ශිෂ්‍යයාට පැමිණිය හැකි උවදුරු වැළැක්වීමද ගුරුවරයා අතින් සිදුවෙයි.)


ගුරුවරයා දුටු විට හුනස්නෙන් නැගිටීම, පාසලේදී පමණක් නොව බාහිර ස්ථානවලදීද සිදුවිය යුත්තකි. එයින් ගුරුවරයා පමණක් නොව එය දකින බාහිර පුද්ගලයන්ගේ සිත තුළද ඔබ ගැන පහල වන්නේ සුබවාදී හැඟීමකි. ගුරුවරයා පවරන කටයුතු වගකීමෙන් යුතුව ඉටුකරදීම ශිෂ්‍යාගේ යුතුකමකි. එයින් ගුරුවරයා විසින් එම ශිෂ්‍යයා වගකීමක් දැරිය හැකි පුද්ගලයෙකු බවට වටහා ගනී. එවිට පන්ති නායක ශිෂ්‍ය නායක වැනි කටයුතු සඳහා තෝරා ගැනීමේදී ඔහුට විශේෂත්වයක් හිමිවෙයි. ගුරුවරයාට කරදරයක් වූ විට, ඔහුට උපකාරීවීම යහපත් ශිෂ්‍යයාගේ යුතුකමයි. මෙසේ සංග්‍රහ ලබන ගුරුවරයා ශිෂ්‍යාව උවදුරු වලින් ආරක‍ෂා කිරීමට පෙළඹෙයි.


මේ කාරණා වලට වඩා වැදගත් දෙය නම් මැනවින් අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. මැනවින් අධ්‍යාපනය හදාරණ දරුවාට ගුරුවරුද විශේෂ ඇල්මක් දක්වයි. එහෙයින් ඉගෙන ගන්නා සියලූ දෙනා තම ගුරුවරයාට ලබාදිය යුතු ගෞරවය ලබාදී හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යා යුතුය.


ඉහත කාරණා වලට අමතරව ඔබ,
1. දිනපතා ගුරුවරයා හා සුහදව කථා කරන්න. සමහර අය ගුරුවරයා දුටු විට සැලකිල්ලට නොගෙන සිටින අතර එයින් වන්නේ ගුරු - සිසු සම්බන්ධය දුරස්වීමයි.
2. තමාට කිසියම් ගැටලූවක් මතුවූ විට එයට ගුරුවරයා ගෙන් උපදෙස් ලබාගන්න.
3. ගුරුවරයාට පමණක් නොව ඔහුගේ සමීපතමයකුට කරදරයක් වූ විට ඔබට හැකි පමණ ඊට උපකාර කරන්න.


ජායාරුපය: මෙතනින්


ශිෂ්‍යයා වනාහි ගුරුවරයා පෙන්වන මඟ යන්නෙකි. එහි සාර්ථකභාවය තිරණය වන්නේ ශිෂ්‍යයාගේ දක්ෂතාවයන් උත්සාහයන් මත වන අතර එය ගුරුවරයාගේ ස්වායත්ත වේ.
-දිලාන් ද සිල්වා-














No comments:

Post a Comment