Friday 30 March 2012

14. විභාගය ලඟ ලඟ


විභාගය ආසන්න වත්ම බොහෝ දෙනා තුල ආතතිය වැඩිවෙයි. නිසියාකාරව පාඩම් නොකල අය පමණක් නොව පාඩම් කල අය තුලද මෙම තත්වය දැකිය හැකිය. පාඩම් නොකල අයගේ සිත තුල තමන් විභාගය අසමත් වේවි යන බියද පාඩම් කලත් අවශ්‍ය තරමට ප්‍රතිඵල නොලැබේවි යන බියක් පාඩම් කල අය තුලද ඇතිවෙයි. මෙහිදී නිව්ටන්ගේ නියමයන් වන, සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවරුද්ධ ක්‍රියාවකටම ඇත, සිහිකිරිම වටී. (නිව්ටන්ගේ නියමයක්ද එසේ නැත්නම් ඔහු බෞද්ධ දර්ශනයේ එන කර්මය යන විකල්පය තුළින් හෝ සිංහලයේ එන තල වැපරුවොත් තල - මුං වැපුරුවොත් මුං යන ආප්තෝපදයෙන් පෙරා ගත්තක්ද යන්න ස්ථීරවම කිව නොහැක)

අපට ප්‍රතිඵල ලැඛෙන්නේ කරන   ක්‍රියාවට අනුරූපවයි. එහෙයින් හොඳින් පාඩම් කලහොත් හොඳ ප්‍රතිඵලයක්ද එසේ නොකලහොත් එහි ප්‍රතිවිරුද්ධ දේද ලැඛෙයි. එහෙයින් සියලූ දෙනා මෙතෙක් තමන් කලයුතු දේ ගැන සිතිය යුතුය. නොකල දේ ගැන සිතීම ඵල රහිතය. ඉතිරිව ඇති කෙටි කාලය ඵලදායී ලෙස අධ්‍යාපනයට යෙදවිය යුතුය.

අවසාන මාසය, තුල නොදන්නා දේ ඉගෙනීමට යාමට වඩා හොඳම දේ ඉගෙනගත් දේ හොඳින් ප්‍රගුණ කිරීමයි. මේ කාලය තුල සටහන් පොත කියවීමට වඩා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නිශ්චිත කාලයකදී ලිවීමටද, සමහරක් වැදගත් යැයි ලකුණු කල කොටස් නැවත පුනරීක‍ෂණය කිරීමද කල යුතුය. අවසාන මාසය වැනි කාල සීමාවේදී මෙතෙක් කිසිවක් ඉගෙන නොගත් ඒවා අත් හැරීම උචිත බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය. එහෙත් අත් හරින දේ ගැන සිත දුක්වීම නොකර තමා ඉගෙනගත් දේ ගැන සිතිය යුතුය. මා ප්‍රථම වරට විභාගයට මුහුණ දීමේදී සංඛ්‍යානය කොටස පාසලේදිවත් ටියුෂන් පන්තියේදිවත් ඉගෙන ගෙන නොතිබුණි. එහෙත් එය ඉතා ලෙහෙසි බව මාගේ හිතවතුන් පැවසූ නිසාම අවසාන සති දෙක තුල මා ඔවුන්ගෙන් එය ඉගෙන ගැනීමට පෙළඹුනෙමි.


එහෙත් විභාගයේදී මාහට එම ගණන සාර්ථකව සෑදීමට නොහැකි විය. එයින් වූයේ මා සංඛ්‍යානය ඉගෙනීමට ගත් කාලය අපතේ යාම පමණකි. එහෙත් මා එම කාලය වෙනත් ඒකකයක් හැදෑරීමට යෙදුවේනම් ප්‍රතිඵලය මීට වඩා සාර්ථක වීමට ඉඩ තිබුණි. විභාගය ලංවන විට මනස මෙන්ම පොත් මේසයද අවුල්වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙයින් සෑම වෙලාවකම පොත් මේසය සිත්ගන්නා සුළු ලෙස තබාගැනීමට වගබලා ගන්න. මෙය ශිෂ්‍ය ජීවිතය පුරාම අවශ්‍ය වූවත් ජීවිතයේ තීරණාත්මක විභාගය ආසන්නයේදී මේ
පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වියයුතුය.

එමෙන්ම අවසාන මාසයක වැනි කාලයක මිට පෙර අධ්‍යන කටයුතු කල කාලසටහන වෙනුවට නව කාල සටහනක් පිළියෙල කල යුතුය. එහි විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර ඒකක වලට මුල්තැන ලබාදිය යුතුය. උදාහරණ ලෙස සංයුක්ත ගණිතය විෂයෙහි අවකලනය, අනුකලනය, සරල රේඛාව, වෘත්තය, සංඛ්‍යානය, සම්භාවිතය ගත හැකිය.

එමෙන්ම නින්ද සඳහාද ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය. බොහෝ විට මෙය පැය 5 - 6 ක් ලෙස සමහරු දක්වයි. එහෙත් බොහෝ විද්වතුන් රාත්‍රි 11.00 - 5.00 අතර පැය 5 - 6 ක පමණ නින්දක් අවශ්‍ය බව පවසති. ඔවුන් පවසන්නේ අප දිනය තුල පාඩම් කරන ලද දේ මතකයෙහි තැන්පත් වන්නේ නින්දේදි නිසාත්, රාත්‍රි කාලයද අපේ මනසෙහි රසායනිකයන් නින්දට අදාල රසායනිකයන් නිසාත් එම කාලය තුල සිරුරට නින්ද අවශ්‍ය බවත්ය.

එහෙත් විභාගය ආසන්න වන විට හොඳින් අධ්‍යනය කල නොකල දෙපාර්ශවයම පෙලඹෙන්නේතව තවත් වැඩිපුර පාඩම් කිරීමයි. එය සාමාන්‍යය ස්වභාවයකි. එවිට නින්ද අඩුවීම සාමාන්‍යයෙන් සිදුවෙයි.
රාත්‍රියේ කෙටි නින්දක් ලැබීම නිසා එයපසුදින කටයුතු වලට අයහපත් ලෙස බලපායි නම් නිදි කාලය වැඩිකල යුතුය. මෙසේ සෑම කෙනෙක්ම තමන්ට සුදුසු ලෙස අධ්‍යාපනයට බාධාවක් නොවන නින්දක් ලැබීම උචිත වෙයි.

එමෙන්ම බොහෝ දෙනා විභාගයට පෙර තමන්ගේ ආගමික සිද්ධස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබාගනී. විභාගය ආසන්න වත්ම දේවාලවල පූජා වට්ටි අතින් ගෙන පෝලිමේ සිටින සිසුන් බහුලව දැකිය හැකිය. විභාගයකට පමණක් නොව ඕනෑම ජීවිතයේ තීරණාත්මක කටයුත්තකදී තමන් අදහන ආගමික ස්ථානයට ගොස් ආශිර්වාද ලබාගැනීම කල යුත්තකි.


එහෙත් පන්සල්, පල්ලි, දේවාල ගිය නිසා එයින් විභාගයේ ප්‍රතිඵල වර්ධනය වේ යැයි සිතිය නොහැක. එහෙයින් ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට සිතා පන්සල් පල්ලි යාම ඵලරහිත කි්‍රයාවකි. එහෙත් විභාගය ආසන්න වනවිට වියවුල් මානසිකත්වයකින් සිටින අයෙකුට පූජනීය ස්ථානයකට යාමෙන් ඔහුගේ මනස සන්සුන් කරගත හැකි නම් එසේ යාම නිසා එය විභාගයට යහපත් ලෙස බලපාන බව කිව හැකිය.
මම ප්‍රථම වර විභාගයට පෙනී සිටීමේදී විභාගයට පෙර පන්සල් ගියේ මවගේ පෙරැත්තට "දෙයියො කොහොමද අපිව විභාගවලින් පාස් කරන්නේ"යැයි පවසමිනි.

එහෙත් මා දෙවන වර විභාගයට පෙනී සිටීමේදී විභාගයට දින 3 කට පෙර මගේ පෙරැත්තයට පන්සල් ගියේ එම දින කිහිපය තුල මා සිත තුල තිබූ විභාග ආතතියෙන් මිදීමට හැකිවේ යැයි විශ්වාස කල නිසාය. එසේම මා එදින පන්සලෙන් පිටවන විට මනස බොහෝ සේ සැහැල්ලූ වීතිබුණි. එමෙන්ම පන්සලට හෝ පල්ලියට හෝ ආගමික සිද්ධස්ථානයට ගොස් ආගමික නායකයා සමග කතා බස් කිරීමෙන්ද ඔවදන් රාශියක් ලබාගත හැකි අතර එය විභාගයට මනා පිටුවහලක් වන බව කිව හැකිය. එහෙයින් විභාගය ආසන්නයේ පමණක් නොව තමන්ට හැකි සෑම විටම තම ආගමික සිද්ධස්ථානයකට යා යුතුය. විභාගය ආසන්නයෙහි ආගමික සිද්ධස්ථානයකට යා යුත්තේ හොඳ මානසිකත්වයක් ඇති කර ගැනීමටත් ඔවදන් ලබාගැනීමටත් මිස ප්‍රතිඵල ඉහල නංවා ගැනීමට නොවිය යුතුය.

එමෙන්ම විභාගය ආසන්නවත්ම තමාගේ ආරක‍ෂාව ගැන වෙනදාට වඩා ප්‍රවේසම් විය යුතුය. හදිසි අන්තරා සිදුවීමට ඇති ඉඩකඩ අවම වන ලෙස කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන් බස්රථවල පා පුවරුවේ යාම අනවශ්‍ය ගැටුම් වලට මැදිවීම් වැනි තමාට හානියක් ගෙන දෙන ක්‍රියාවලින් ඈත්විය යුතුය. එමෙන්ම විභාගයට පෙර විභාගය ලිවීමට අවශ්‍ය පෑන් මිලදී ගෙන එය මඳක් පරිහරණය කර අතට හුරුකරගත යුතුය. සමහරු විභාගයට යන අතරමගදී පෑනක් මිලදී ගන්නා අතර එයද ලියවෙන්නේ දැයි බලන්නේ විභාග ශාලාවේදීය. එතනදි එය නොලියවුනහොත් අන් අයටද කරදර කරමින් පෑන් සොයයි. එහෙයින් විභාගයට
අවශ්‍ය කරන සියලූ දේ කල්තබා සුදානම් කරගත යුතුය.




" කල් ඇතිව තමා තමාව සුදානම් කර ගැනීමකින් තොරව කිසිම කෙනෙකු කවරදාක
හෝ සාර්ථකත්වයට පත් වූවයි නොසිතිය යුතුය."


- පී. පාකර් -



No comments:

Post a Comment