Friday 30 March 2012

20. විභාගයෙන් පසු


ප්‍රතිඵල එනතුරු:
දැන් ඔබ සිතේ තිබුණ නිදහස් වී හමාරයි. දැන් ඔබට කිසි බියකින් තොරව ගමන් බිමන් විනෝද චාරිකා යා හැකිය. එහෙත් එය සාර්ථක නිදහස් වීමක්ද යන්න තීරණය වන්නේ ඔබ විභාගයට හොඳින් මුහුණ දී තිබුණොත් පමණකි. විභාගයෙන් පසු ප්‍රතිඵල එනතුරු කාල පරාසය මාස 2/3 පමණ විය හැකිය. එම කාලයද ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න.
වර්තමාන සමාජය දෙස බලන විට ඉංග්‍රිසි දැනුම හා පරිගණක දැනුම ඕනෑම වෘත්තියකට තිබිය යුතු දෙයකි. එහෙයින් මෙම කාල සීමාවේදී එම විෂය දෙක කෙරෙහි අවධානය දැක්වීම යෝග්‍ය වෙයි. පිළිගත් අධ්‍යාපන ආයතනයකින් හෝ විධිමත්ව  ඉංග්‍රිසි  උගන්වන ගුරුවරයෙක් මගින් ඉංග්‍රිසි භාෂාව ප්‍රගුණ කර ගන්න. පරිගණක අධ්‍යාපනය සඳහා ද විවිධ ආයතන පවතියි. ඒ පිළිබඳව දැනුමැති අයෙකු මගින් හොඳ පරිගණක ආයතනයක් තෝරාගෙනපරිගණක පිළිබඳව දැනුම ලබා ගන්න. හැකියාවක් පවතියි නම් පරිගණකයක් මිලට ගැනීම තුළින් තනිවම වුවද එය ඉගෙන ගැනීමට හැකියාව ඇත. පරිගණක පිළිබඳ පොත් සඟරා පරිශීලනයෙන් ඒ පිළිබඳව දැනුම පුළුල් කර ගන්න. පරිශීලනයෙන් ඒ පිළිබඳව දැනුම පුළුල් කරගන්න. එමෙන්ම මෙම කාල සීමාව තුළදී තමන්ගේ රුචිකත්වය පරිදි විවිධ ක්‍රියාකාරකම් වල නිරත විය හැකිය. මා මෙම කෘතිය ලිවීම ආරම්භ කළේ මා උසස් පෙළ ලියා අවසන් කර සිටි කාල සීමාවේදීය


ප්‍රතිඵල ආපසු :
විභාගය අවසන් වී මාස 3 කට පමණ පසු ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ඔබේ තත්ත්වය තීරණය කරන්න.
1) විභාගය සමත්වීම,
2) විභාගය අසමත්වීම,
3) අපේක්ෂා කල පාඨමාලාවට ඇතුළත්වීමට ලබාගත් ලකුණු ප්‍රමාණවත් නොවීම.
4) අපේක්ෂා කල පාඨමාලාවට ඇතුළත්වීමට ලබාගත් ලකුණු ප්‍රමාණවත් වීම.


ඔබ ඉහත 4 වන තත්ත්වයේ නොසිටින්නෙක් නම් හොඳම  ක්‍රියාමාර්ගය වනුයේ නැවත වරක් විභාගයට පෙනී සිට කෙසේ හෝ 3 වන තත්වයට ලඟාවීමයි. අ.පො.ස. උසස් පෙළ තෙවන වර ප්‍රතිඵල මගින්ද විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකි නිසා එයින් ප්‍රයෝජන ලබා ගන්න. ඔබට විභාග ප්‍රතිඵල 4 වන මට්ටමට ලඟාවීමට තරම් ප්‍රමාණවත් නැති බව විභාගය අවසන් කළ පසු හැගෙන්නේ නම් ප්‍රතිඵල ඒමට පෙර සිටම නැවත වරක් විභාගයට සුදානම් වන්න. ටික කාලයක් අධ්‍යාපන කටයුතු වලින් ඈත්ව සිට නැවත එය ආරම්භ කිරීම අපහසු විය හැකිය. එහෙත් ඔබ නැවත වරක් විභාගයට පෙනී සිටීම තුළින් ඔබේ ඉදිරි අනාගතය විශාල
ධනාත්මක වෙනසකට ලක් කෙරිය හැකි බව මතක තබා ගන්න.

ඔබට විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාවක් නොලැබුණේ එයින් ඔබගේ අනාගතය අඳුරු වූ බව පිළිඹිබු නොවේ. මන්ද යත් ඔබට සාර්ථක අනාගතයකට උරුමකම් කීමට තවත් මාර්ග ගණනාවක් ඇති නිසාය.
ඔබට විශ්ව විද්‍යාල වල පැවැත්වෙන බාහිර උපාධි පාඨමාලා හැදෑරීම මගින් අධ්‍යාපන
සුදුසුකම් ලබාගත හැකිය.


උදා : ව්‍යාපාර පරිපාලන (Bsc)
         ශාස්ත්‍රවේදී (BA)

විවිධ වෘත්තිය ආයතන මගින්ද වාත්තීය සුදුසුකම් (උපලේඛන 5) ලබා ගත හැකිය. තවද කාර්මික විද්‍යාල, වෘත්තිය පුහුණු ආයතන, තරුණ සේවා සභාව වැනි ආයතනද මගින් ඔබේ අධ්‍යාපනයට ගැළපෙන වෘත්තිය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට හැකිවෙයි. එමෙන්ම විශ්ව විද්‍යාලවල පැවැත්වෙන උපාධි නොවන පාඨමාලාද හැදෑරිය හැකිය. (උපළේඛණ 3)

ඔබ හැදෑරිය යුතු පාඨමාලා පිළිබඳව ඔබට උපදෙස් ලබාදීමට විවිධ ආයතන වල ඒ වෘත්තිය මාර්ගෝපදේශක අංශ පිහිටුවා ඇත. එම අංශ සතුව විවිධ පාඨමාලා රාශියක් පිළිබඳව විස්තර ඇති අතර ඔබට එය සුදුසු පාඨමාලාවක් තෝරා ගැනීමට ඉමහත් රුකුලකි (උප ලේඛණ 5)මතක තබා ගන්න, විභාගය අවසන් කිරීමෙන් පසුව නිකරුණේ කාලය අපතේ නොයවන්න. හොඳ වෘත්තිය පාඨමාලාවක් හැදෑරීමෙන් ඔබට සුරක්ෂිත අනාගතයක් ඇතිකරගත හැකිය. එමෙන්ම ඔබ තෝරා ගන්නා පාඨමාලාවෙන් ඔබට එම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ හැකියාව තිබිය යුතුය. (සටහන 1) ඔබ තෝරා ගන්නා විට විශේෂයෙන් පෞද්ගලික අංශයේ) එම
ආයතනයට ඇති පිළිගැනීම, පහසුකම් පිළිබඳව සොයා බලන්න.




3 comments:

  1. "ඔබට විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාවක් නොලැබුණේ එයින් ඔබගේ අනාගතය අඳුරු වූ බව පිළිඹිබු නොවේ."

    ඉහත ප්‍රකාශය තහවුරු කිරිමට ගත හැකි උදාහරණ කිහිපයක්.

    1. ජයන්ත විඡේසිංහ

    "ජයන්ත අයියම කියන්නකෝ ජයන්ත විඡේසිංහ කියන්නේ කවුද කියලා?"

    ඔහු එයට දුන්නේ අමුතු උත්තරයකි.

    "මම ඒ ලෙවල් වැඩ හතරම ෆේල් මිනිහෙක්‌"

    දක්‍ෂයන් හඳුනාගැනීම පිණිස මෙරට වන විභාග ක්‍රමයේ මහා අවුලක්‌ ඇතැයි ඒ පිළිතුරෙන් මට හැඟුණි.

    ඔහු තවදුරටත් කතා කළේය.

    "මම ඉගෙනගන්න පටන් ගත්තේ කසාද බැන්දට පස්‌සේ. මම සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණය ගැන ඩිප්ලෝමාවක්‌ කළා. ඊට පසුව අලෙවිකරණය පිළිබඳ ලන්ඩන් ඩිප්ලෝමාව කළා. එයටත් පසුව මම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කළා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. හෙට අනිද්දාට මම කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මාස්‌ටර්ස්‌ උපාධියක්‌ කරනවා. අද ගොඩක්‌ දරුවන් උසස්‌ පෙළ ප්‍රතිඵල අඩුවුණොත් එතැනින් අධෛර්යයට පත්වෙනවා. ඒත් උනන්දුව සහ කැපවීම තිබෙනවානම් ඒ සුදුසුකම් සපුරගන්න පුළුවන් කියන එකයි මට කියන්න උවමනා"

    http://www.divaina.com/2012/05/13/feature02.html

    ReplyDelete
  2. 2. පහත උපුටා ගැනිම 2012 මැයි 6 දින ඉරිදා ලංකාදිප පුවත්පතෙනි.

    විශ්ව විද්‍යාලයට ඇතුලුවන පිරිස 3% හෝ 4%ක් නිසා එයට තරගයක් පැවතුනද වෙනත් සංඛ්‍යාලේඛන වලින් පෙනෙන්නේ වෙනත් මාවත්ද දැන් විවෘතව ඇති බවයි. උපාධිය හෝ ඉට ඉහල අධ්‍යාපනයක් ලැබුවන්ගේ ප්‍රතිශතය ගත්විට 12% කට වැඩිය. එහි තේරුම නම් පෞද්ගලික ආයතන, විදේශ විශ්වවිද්‍යාල වැනි වෙනත් මාවත් විවෘත වි තිබෙන බවයි.

    - මහාචාර්ය රොහාන් සමරජිව - "අක්කර පහ චින්තනයෙන්" විකෘතිවු අධ්‍යාපනය

    ReplyDelete
  3. මෙම වෙබි අඩවියෙ විවිධ පාඨමාලා වල විස්තර පලවේ.

    http://careerguidancelk.blogspot.com

    ReplyDelete